රට වෙනුවෙන් අවශ්‍ය විටදී අපි නොබියව තීරණ ගත්තා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු අවස්ථාවලදී නොබියව තීන්දු තීරණ ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.


නූතන පරම්පරාවේ දේශපාලන පක්ෂය වනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ද ඔහු ප්‍රකාශ කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා: අප දේශපාලන පක්ෂයක් සහ බලවේගයක් ලෙස අභියෝගවලට මුහුණ දී තිබෙනවා. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රට භාර ගන්නකොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරනවා ද නැද්ද කියන තීන්දුව ගත යුතුව තිබුණා. මහින්ද ජනාධිපතිවරයා ඒ අභියෝගය භාර ගත්තා. එම අභියෝගය ජයග්‍රහණය කළා. ජනතාව තුළ නව බලාපොරොත්තු ඇති වුණා. නව නගර ඇතිවෙන්න පටන් ගත්තා.


2015දී අපේ කණ්ඩායම, කඳවුර පරාජයට පත් වුණා. අපට අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අප ගොඩනැඟුවා. අප ඒ තුළින් ජයග්‍රහණ ලැබුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රට භාර ගැනීමට සිදුවූයේ 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාරදුන් තැනින් නොවේ. සංවර්ධනය නතර වෙච්ච, ත්‍රස්ත බිය ඇති වෙච්ච දේශපාලනික වශයෙන් මහා විකෘති පරිසරයක් තමයි ගෝඨාභය ජනාධිපතිවරයා භාර ගත්තෙ. 


එම ක්‍රියාදාමය තුළ අපට කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු වුණා. එම නිසා ලෝකයේ මහා බලවත් ආර්ථිකයන් කඩා වැටෙමින්, මිනිස් ජීවිත නැති වන විට ගෝඨාභය රාජපක්ෂ රජයට හැකි වුණා මිනිස් ජීවිත බේරා ගැනීමට. පසුව අරගලයක් පැමිණියා. එය ඇති වුණේ කොහොමද, හරිද, වැරදි ද කියන කාරණය පිළිබඳ අපට විවිධ මතවාද තිබෙනවා. 


එවැනි අරගල ඇති වන අන්දම ලෝකය පුරා අප දැක තිබෙනවා. අප රට තුළ ඇති වූ අරගලයේදී ගෝඨාභය ජනාධිපතිවරයාට තීන්දු කරන්න සිදු වුණා ආණ්ඩුව ආරක්ෂා කර ගන්නවා ද රාජ්‍යය ආරක්ෂාව කරනවා ද යන්න පිළිබඳ. එහිදී ගෝඨාභය මහතා තීරණය කළා අප අඩියක් පස්සට ගමු, ආණ්ඩුව වැටුණත් රාජ්‍ය ආරක්ෂා කරමු කියන කාරණය. හැබැයි අප පක්ෂයක් විදිහට වැටුණේ නැහැ.


නාමල් රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණේ මහා සම්මේලනය අමතමිනි. කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී (27) මෙම සම්මේලනය පැවැත්විණි.



රට වෙනුවෙන් අවශ්‍ය විටදී අපි නොබියව තීරණ ගත්තා රට වෙනුවෙන් අවශ්‍ය විටදී අපි නොබියව තීරණ ගත්තා Reviewed by Lanka Political on July 29, 2024 Rating: 5
Powered by Blogger.