නිවැරදි දැක්මක් තියන එකම නායකයා රනිල්, මගේ සහය එතුමාට

කඩා වැටුණු රට එම විනාශයෙන් බේරාගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් නීතිගතකර ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෙයින් ඉදිරි ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමාට තම සහයෝගය පළ කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


මේ රට නැවත ගොඩගැනීමට ශක්තියක් සහ දැක්මක් ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බැවින් තමන් ඒ තීරණය ගනු ලැබූ බව ද හෙතෙම කීවේය.


ඇමැතිවරයා මේ බව පැවසුවේ පළමුවරට රට දිනවමු හෝමාගම අපේ තීරණය මැයෙන් හෝමාගමදී (29) සවස පැවැති ජන රැළියකට සහභාගී වෙමිනි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගන්නා තීන්දුව අනුව ඇමැතිවරයා හෝමාගම ජනතාවට සිය තීන්දුව දැනුම් දීම සඳහා මේ රැළිය පැවැත්විය.


එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය.


රට ගොඩනැ‍ඟීම සඳහා අත්සන් කරල තිබෙන ගිවිසුම් 2048 වනතුරු රැකීමට අවශ්‍යයි. ඒ සඳහා වගකිව යුතු ඇමැතිවරු ලෙස 2048දී සංවර්ධන රටක් ලෙස දැකීමට අවශ්‍ය නම් එය එලෙසින් කරන බවට සහතිකයක් දිය හැකි එකම නායකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අද රට තියන තැනට ගෙනාපු අත්දැකීම පළපුරුද්ද සහිත තීන්දු තීරණ ගැනීමේ දී වැනෙන්නේ නැතිව සෘජු තීරණ ගත හැකි ජනාධිපතිවරයාට මම මගේ සහාය පළ කරනවා.


අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිව්වා පක්ෂ පාට බලන්නැතුව ජනාධිපතිවරයාට සහයෝගය පළ කරමු කියලා. මෙතෙක් දවස් ඒ පිළිබඳ තීන්දු තීරණ නොගෙන සිට අද දිනයේ දී මධ්‍යම කාරක සභාව රැස් කෙරෙව්වා. 


ඒ අවස්ථාවේ දී එහි ලේකම් සාගර කාරියවසම් මහතා යෝජනාවක් ඉදිරිපත් කළා ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුව සලකුණ තිබිය යුතු බැවින් පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට. ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාගේ නමක් ගමක් කිසිවක් කිව්වේ නෑ. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා. 


ඒ අවස්ථාවේ දී මධ්‍යම කාරක සභිකයන් වන මමත් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක වැනි එකොළොස් දෙනකු ඊට විරුද්ධව ඒ යෝජනාව කරන්න එපා අපි ඔක්කොම එකතුවෙලා මේ රට නැවත වතාවක් ඔසවා තැබීමේ කාර්යය සඳහා මේ වතාවට පමණක් හැමෝගෙම පොදු අපේක්ෂකයා විදිහට ස්වාධීනව ඇප තැන්පත් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දිය යුතු බව කිව්වා. ඒ පිළිබඳ ඡන්ද වීමසීමේදී අපි එකොළොස් දෙනෙක් විරුද්ධ වුණා. 


දෙවැනි යෝජනාව ලෙස ඉහත යෝජනාවට පක්ෂ නොවන සහ වෙනත් ඕනෑම අපේක්ෂකයකුට සහාය දෙන සියලුම පොහොට්ටු සාමාජිකයන්ට තරාතිරම නොබලා විනය පරීක්ෂණ කරන බවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අපි කිසිවකු ඊට විරුද්ධතාව පළ කළේ නෑ. අපි සියලු දෙනාම ඒ විනය පරීක්ෂණ යෝජනාවට පක්ෂ වූවා.




නිවැරදි දැක්මක් තියන එකම නායකයා රනිල්, මගේ සහය එතුමාට නිවැරදි දැක්මක් තියන එකම නායකයා රනිල්, මගේ සහය එතුමාට Reviewed by Lanka Political on July 30, 2024 Rating: 5
Powered by Blogger.