වංචනිකයන්ගෙන් රට බේරා ගන්නා මෙහෙයුමට මම නායකත්වය දෙනවා

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්වය ලබා දෙන්න පෙරට එන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


රණවිරුන් ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුපට පමණක් සීමා නොවී රණවිරුවන් ද ව්‍යවසායකයකු ලෙස ජන සමාජයේ ඉහළ ආදායම් ලබන පුරවැසියකු ලෙස ප්‍රතිනිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


දිස්ත්‍රික් මට්ටමින් රණවිරු සහන අරමුදලක් ගොඩනගා එහි පොලි ආදායමෙන් රණවිරු ප්‍රජාවට සහන ලබා දෙන නව වැඩසටහනකට මුල පුරන බවත් රත්නපුරයේ පැවැති සමගි රණවිරු බලවේගයේ 7 වැනි දිස්ත්‍රික් සභා රැස්වීම අමතමින් ඔහු පැවසීය.


ජනාධිපතිවරණය ජය ගෙන පැය 48ක් තුළ රණවිරුවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර රණවිරුවන් මුහුණ දෙන ගැටලුවලට මාස 3ත් 6ත් අතර කාල සීමාව තුළ තිරසර විසඳුම් ලබා දීමේ කඩිනම් වැඩසටහනකට යොමු වන බවත් විපක්ෂ නායකවරයා කීවේය.


රටේ භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව, ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය සුරකින්නට කටයුතු කළ රණවිරුවන්ට උද්ඝෝෂණය කිරිම අවශ්‍ය නොවන බවත් ඔවුන්ට ගැටලුවක් ඇත්නම් සෘජුවම ජනාධිපති කාර්යාලයට පැමිණ රටේ සේනාධිනායකයාට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.



වංචනිකයන්ගෙන් රට බේරා ගන්නා මෙහෙයුමට මම නායකත්වය දෙනවා වංචනිකයන්ගෙන් රට බේරා ගන්නා මෙහෙයුමට මම නායකත්වය දෙනවා Reviewed by Lanka Political on July 28, 2024 Rating: 5
Powered by Blogger.