කිරි වෙහෙරේදී අගමැතිට සෙත් පතන පින්කමක්

ජනාධිපතිවරණයේ තේරීම් භාර නිලධාරීන් ද සහභාගී කරවමින් අගමැතිට ආශීර්වාද පළ කිරීම සඳහා කතරගම කිරි වෙහෙරේදී විශේෂ ආශීර්වාද පූජාවක් සැලසුම් කර ඇතැයි ද එම පූජාවට තේරීම් භාර නිලධාරීන් සහභාගී වීම වළක්වන්නැයි ද ඉල්ලමින් පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිසමට ලිඛිත පැමිණිල්ලක් කර ඇත.


මැතිවරණ ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇති තේරීම් භාර නිලධාරීන් මෙවැනි අවස්ථාවකට සහභාගී වීම හේතුවෙන් සමාජය තුළ ඔවුන් පිළිබඳ සැක සංකා ජනිත වුවහොත් මැතිවරණයේ සුජාතභාවයට ඉන් බරපතළ හානියක් සිදුවනු ඇති බව කියමින් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ආමන්ත්‍රණය කරමින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත.


මෙම ආශීර්වාද පූජාව සඳහා සහභාගී වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවට තමන්ට වාර්තා වී ඇතැයි ද එහි සඳහන් වේ.


මැතිවරණ කාලසීමාවේදී දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් බවට පත්වන හෙයින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් යටතේ රාජකාරි සිදු කරන අනෙක් නිලධාරීන්ට තම ආයතන ප්‍රධානියා ගැන අවිශ්වාසයක් මතු වුවහොත් එම තත්ත්වය ද මැතිවරණ ක්‍රියාවලියට හානිදායක යැයි ද එහි අවධාරණය කර ඇත.




කිරි වෙහෙරේදී අගමැතිට සෙත් පතන පින්කමක් කිරි වෙහෙරේදී අගමැතිට සෙත් පතන පින්කමක් Reviewed by Lanka Political on August 10, 2024 Rating: 5
Powered by Blogger.