මහින්ද රාජපක්ෂ මහත්තයට ආදරෙයි - බන්දුලගෙන් ලිපියක්
“අපි මේ රටට ආදරෙයි. ඒ වගේම රට බේරාගත් පොහොට්ටුව නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ මහතාට ද ආදරෙයි. ඒ සියල්ලටම වඩා රටට ආදරේ බැවින් රට අගාධයට ඇද නොදමන නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවටත් ඊට කැමති සියලු දෙනා ඒ සඳහා අත්වැල් බැඳගන්නා ලෙසද මා ඉල්ලා සිටිනවා”
හෝමාගම නගරයේ පැවති විශේෂ ජන හමුවකට එක්ව අදහස් දැක්වමින් කියා සිටියේ
“රටේ ත්‍රස්තවාදී සටනක් පැවති අවස්ථාවේ එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට රජය පවත්වාගෙන යාමටත්, ත්‍රස්තවාදය පරාජය කිරීමටත් විශාල ශක්තියක් අවශ්‍ය වී තිබුනා.
එවකට පැවතුනේ ඉතාමත් දුර්වල රජයක්. එහිදී හිටපු කතානායක වරයෙකු සහ රටට සැබවින්ම ආදරේ කරන බෞද්ධ ජන නායකයෙකු වූ කරු ජයසුරිය මහතා, එක්සත් ජාතික පක්ෂයේ පථාක යෝධයෙකු ලෙස කටයුතු කල ගාමිණී ලොකුගේ මහතාත්, අපත්, එක්ව මහින්ද රාජපක්ෂ මහතාට ශක්තිය ලබා දෙමින් අමාත්‍ය ධූර භාර ගත්තා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කරමින්, අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් රට කැඩීමකින්, බෙදීමකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මිනිසුන්ට තමන් කැමති ස්ථානයක ජීවත් වීමට සහ ජීවනෝපාය සලසා ගැනීමටත්, රටට සාමය උදා කිරීමටත්, රට බේරා ගැනීමේ මහා වගකීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉටු කලා.
විධායක ජනාධිපති බලය තුල, දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව සියළුම දෙනා ලබා දුන් ශක්තිය තුලින් එම ජයග්‍රහණය හිමි වුණා. ඉන්පසු දෙවන වරටත් අපේ ජාතික නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා තෝරා පත්කරගැනීම සඳහා සමස්ථ ශ්‍රී ලංකාවෙන්ම වැඩිම ශක්තිය ලබා දුන්නේ හෝමාගම ජනතාවයි. එතුමාගේ රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට පුළුල් ඉඩක් මා හට ලබා දුන්නා.
අවාසනාවකට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වූ අවස්ථාවේත් එතුමා හැර නොගොස් සිටියදී ජනාධිපති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස මට දුරකථනයෙන් අමතා ඉල්ලා සිටියා. නමුත් කිසිවක් කල නොහැකි බව මා දැන සිටියා.